Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

සමාජවාදය කතා නොකළ ප්‍රතිගාමියා පිලිබඳ කෙටි සටහනක්

$
0
0
"පේරාදෙණිය සරසවියේ නොනවතින හූව".  1986 හෝ 1987 වසරේ පුවත් පතක පළ වූ ලිපියක සිරස්තලයකි ඒ.  ලිව්වේ කවුද, පත්තරේ කුමක්ද දැන් මතක නැත.  නිමිත්ත මතකයි.  'වල සතියේ'නාට්‍යයක් නොනවතින හූවක් හේතු කොට ගෙන නතර කිරීමට සිදුවිය.  ලියුම් කරුගේ අදහස වුයේ හොඳ නාට්‍යයක් රස විඳීමට අවශ්‍ය දැනුම සරසිවී සිසුන් බහුතරයකට නොමැති බවයි.  ඔහු හෝ ඇය වරද පටවූවේ සරසවි ඇඳුරන්ට ය.  විශේෂයෙන් වේදිකා නාට්‍ය පිලිබඳ දැනුමක් ඇති, නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළ ඇඳුරුතුමෙකු ට නමින්ම චෝදනා එල්ල වී තිබිණ. 



එක් ඇඳුරුතුමෙක් මට සිද්ධිය පිලිබඳ පහත කියවීම ඉදිරිපත් කළේය: 'හූවක් කියන්නෙත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.  සමස්ථ රංගනය තුල හෝ ඉන් කොටසක ප්‍රේක්ෂකයෝ  බලාපොරොත්තු වන ප්‍රමිතිය නොමැති නම්, කුමන හෝ ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය යුතුයි.  එංගලන්තයේ නාට්‍ය ඉතිහාසය පුරා මෙය සිදුවුනා.  ඉවතලන කඩදාසි ගුලි, නරක් වුන තක්කාලි, කුණු බිත්තර ප්‍රහාර වේදිකාවට එල්ල වෙලා තියෙනවා.  ඒ වගේ ම හු කියලත් තියෙනවා."

මේ සංවාදයට නිමිති වුයේ ඉතා දුර්වල නාට්‍ය දැක්මක් බව මතක ය.  නළු නිලියන් හට පිටපත අමතක වූ බොහෝ අවස්ථා විය. රංගනය ද දුර්වල විය.  සරසවි ශිෂ්‍යයින්ගේ රසඥතාවය කෙසේ වෙතත්, හූව මෙන්ම හූව පිලිබඳ අඳුරුතුමාගේ පැහැදිලි කිරීමද සාධාරණය යැයි මට සිතුනි.  ඔහු අදහස් දැක්වූයේ ඉහත සඳහන් ලිපිය පලවුනාට පෙරද ඉන් පසුවද කියා මට මතක නැත.  කෙසේ වෙතත් ලියුම්කරු ගේ ප්‍රහාරයට ලක් වූ යේ ඔහු මය.  ඒ මහාචාර්ය ඈෂ්ලි හල්පේ.  

මහාචාර්ය ඈෂ්ලි  හල්පේ නොහොත් හල්පේ සර් එවක පේරාදෙණියේ විප්ලවවාදීන් ලෙස තමන් හඳුන්වා ගත් සහ හඳුන්වා දුන් බොහෝ අයගේ විවේචනයට ලක් වූ කෙනෙකි.  හැමදාමත් ඔහුව වැටුනේ ප්‍රතිගාමී පිලට ය.  ලේබලය කුමක් වූවත් ලේබල් ගසන්නන් සමග කිසිදා ඔහු උරණ වූයේ නැත.  ඇතැම් විට ඔහු 'ප්‍රතිගාමී'වුයේ ඔහු සමාජවාදය ගැනවත් පොදුවේ දේශපාලනය ගැනවත් ලොකුවට කතා නොකළ නිසා විය හැකියි.  ඔහු තමන් හඳුනා ගෙන තිබුනේ මූලික වශයෙන් ගුරුවරයෙක් ලෙස ය.  දෙවෙනුව නාට්‍යකරුවෙකු ලෙසය.  ඔහු දේශපාලනික වුයේ ප්‍රධාන වශයෙන් එම වේදිකා දෙක මතය. 

අඩ සියවසකට අධික කාලයක් ශිෂ්‍යයෙකු ලෙසද ගුරුවරයෙකුද වශයෙන් සරසවියක් තුල විසු ඕනෑම කෙනෙකු එම සරසවියේ ඉතිහාසයට උරුමකම් කියති.  ඉතින් හල්පේ සර් සහ පේරාදෙණිය සරසවිය හා බැඳී ඔහුගේ ඉතිහාසය පරිච්ඡේද ගණනාවකින් සමන්විත කතාවකි.  මෙය ඔහු පිලිබඳ පුද්ගලික සටහනක් පමණයි.  'මා දන්නා ඈෂ්ලි  හල්පේ'වගේ මාතෘකාවක් යටතේ ලියවෙන අල්පම අල්ප සටහනකි.  'අපි දන්නා හල්පේ සර්'වැනි පුළුල් මාතෘකාවක ට පවා එකතු කළ නොහැකි තරමට මෙය අල්ප යැයි සිතේ. 

පේරාදෙණිය සරසවින් ඉගෙනගත් දේ බොහෝය.  වැදගත් පාඩම් ද ඒ අතර වේ.  ඉන් බොහොමයක් ඉගෙන ගත්තේ හල්පේ සර් ගෙනි.  ඉන් ද කිහිපයක් සඳහන් කරන්නෙමි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී දී ඉගෙනගත් වැදගත්ම පාඩම ඉගෙනගත්තේ දුම්බර සරසවියට ආ පළමු දවසේ දී ය.  ගුරුවරයා ඈෂ්ලි හල්පේ.  දුම්බර රත්නායක ශාලාවේ නවක සිසුන් අමතමින් ඔහු මෙවැනි දෙයක් පැවසුවේය:

"හෝඩියේ පන්තියට සිය දෙනෙක් ඇතුල් වෙනවා නම් ඉන් විශ්වවිද්‍යාලයට වරම් ලබන්නේ එක්කෙනෙක් පමණයි.  ඉන් අදහස් කරන්නේ අනික් 99 දෙනා මෝඩයි කියන එක නෙවෙයි.  පවතින ව්‍යුහය තුල එයාලට ඉඩක් නැති වීම කියන එක.  ඒ 99 දෙනාට සරසවියට එන්න බැරි වුනේ ඇයි කියන එක ගැනත් එවැනි අයට උසස් අධ්‍යාපනය ලබාගන්න හැකි ආකාරයට ඒ ව්‍යූහය වෙනස් කිරීමට උත්සහා කිරීමත් සරසවි වරම් ලබන ඒ එක ශිෂ්‍යා ගේ වගකීම යි."ඒත් හල්පේ සර් සමාජවාදය කථා කළේ නැත. ඔහු ප්‍රතිගාමියෙකි. 

හල්පේ සර් සමාජවාදය ගැන කතාකළේ නැත.  ඔහු 'ප්‍රතිගාමියෙක්'.  එත් ශිෂ්‍ය සටන් හේතුකොට ගෙන සිරගත වූ ශිෂ්‍යයි බලන්න 'ප්‍රගතිශීලී'ගුරුවරු බොහෝ දෙනා මැලි වෙද්දී ඔවුන් ගේ දුක සැප විමසන්නත්, අවශ්‍යතා සපුරාලන්නත් හල්පේ සර් කටයුතු කළ බව දනිමි.  තමන්ට 'ප්‍රතිගාමී'ලේබලය ගැසූ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාධරයින් ඒ ඒ දේශපාලනය සඳහා මෙහෙයවූ සමාජ, සංස්කෘතික සහ ආර්ථික සාධක පිලිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබිණ.  ඒ සියලු ක්‍රියාකාරිත්ව ගැන ඔහු කල්පනා කළේ ය.  ඇතැම් විට කම්පා විය.  ඔහු තුල ඒ ක්‍රියාදාමයන් ඇති කළ කම්පනය ඇතැම් අවස්ථා වලදී කවියට නැංවිය.  ඒ 'පර'භාෂාවෙනි.  හල්පේ සර් සමාජවාදය කථා කළේ නැත. ඔහු ප්‍රතිගාමියෙකි.   

1985-86 වකවානුවේ පේරාදෙණි සරසවිය කැබලි කර මහනුවර පුරා එම කැබලි විසුරුවා මධ්‍යම පළාතේ අගනගරය 'විද්‍යරාජපුර'ලෙස නැවත නම් කිරීමටඑවකට හිටපු ආණ්ඩුව සැලසුම් කළේය.  ඒ පිළිබඳ හල්පේ සර් මෙවැනි අදහසක් ප්‍රකාශ කළේය: "සරසවියේ 'සුළු'කියල නම් කරන සේවක පිරිස පහළ මට්ටමකට දමා සලකනවා නම් විද්‍යරාජපුර ට විරුද්ධ වෙන්න සදාචාර අයිතියක් නැත."  එත් හල්පේ සර් සමාජවාදය කථා කළේ නැත. ඔහු ප්‍රතිගාමියෙකි. 

අප සරසවියට ඇතුළු වී සති තුන හතරක් ගතවීමටත් පෙර අන්තර් විශ්වවිද්‍යාල නාට්‍ය තරඟයක් සඳහා බ(ර්)ටොල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක රඟපෑමට නවකයින් ට ඔහු ආරාධනා කළේය.  නාට්‍යය 'ගැලීලියෝ'.  නාට්‍යය පැය භාගයකට සීමා වන ලෙස පිටපත ඉතා අපූරු ලෙස සංස්කරණය කළේ ඔහුය.  අරගලය ගැන, අවංක කම ගැන, සත්‍යයේ අගය සහ එම අගය උස් පහත් කරන දේශපාලනය ගැන,  විප්ලවීය භාවිතය ගැන එම නාට්‍යය හරහා ඔහු ඉස්මතු කළේය.     හල්පේ සර් සමාජවාදය කථා කළේ නැත. ඔහු ප්‍රතිගාමියෙකි. 

මහාචාර්යවරයෙකු වුවද, දක්ෂ ලේඛකයෙකු වුවද, නාට්‍යකරණ විෂයෙහි යම් ප්‍රවීණත්වයක් තුබුණද හල්පේ සර් කිසි විටක ශිෂ්‍යයින්ට ඉහලින් තමා ස්ථානගත කළේ නැත.  ශිෂ්‍යයා "ශිෂ්‍යත්වය"යන පුළුල් විෂයෙහි සහ ඊට අදාළ ගවේෂණයෙහි සුහද ගමන් සගයෙක් ලෙස ඔහු දුටුවේ ද නොදනිමි.  එහෙත් ඔහු අපට සැලකුවේ එලෙස යි.  ඒත් හල්පේ සර් සමාජවාදය කථා කළේ නැත. ඔහු ප්‍රතිගාමියෙකි. 

හල්පේ සර් නිහතමානි කෙනෙකි.  ආදරණීය ගුරුවරයෙකි.  විහිළුවට ලොල් පුද්ගලයෙකි.  විවේචනය ඉවසූ කෙනෙකි.  විවේචනය කිරීමට මැලි නොවුනත් එම විෂයේදී කහටක් තිබුනේ නැත.  ඒත් දැන් මේ ප්‍රතිගාමියා අප අතර නැත.  ඉතිරිව ඇත්තේ ශේක්ස්පියර් ගේ කලාව සහ සාහිත්‍යය ඉතා මිහිරි ආකාරයෙන් අපට කියා දී අප අතරින් නික්ම ගිය මේ සාමාන්‍ය සහෝදර පුරවැසියාට ශේක්ස්පියර් ගේ "හැම්ලට්"නාට්‍යයේ උපුටා ගැනීමකින් සමු ගැනීමේ සටහන තැබීම පමණි.  "ඉතින් ඔබට සුභ රාත්‍රියක් කුමාරයාණෙනි!" 

Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles