Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

එජාපයේ හදවත, හිත සහ වෙනත් අවයව

$
0
0

පුංචි ඡන්දේට එක්සත් ජාතික පක්ෂය තොර ගත්ත සටන් පාඨය 'ගම හදන ආණ්ඩුව'.  මේකෙන් මුලින් ම කියවෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත් 'යහපාලන'ආණ්ඩුවේ පාර්ශවකරුවන් නොවන බවයි.  ඒක වෙන කතාවක්.  කියන දේ වගේම නොකියන දෙයකුත් තියෙනවා.  සමහර අවස්ථා වලදී හංගන්න හදන දේ ඉස්මතු වෙනවා.  කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියනවා වගේ.

කට එජාපයේ. දිව රෝසි ගේ.  එජාපයේ බොරුවේ තරමයි හැඩයයි රෝසිගේ ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා. 

මුලින් කිව්වේ දුක්ගැනවිල්ලක්. පස්සේ කිව්වේ ආඩම්බරකාර කතාවක්.  දෙකම විමසමු.

'පහුගිය ආණ්ඩුව කාලේ හම්බන්තොට ට කිරි, කොළඹට කැකිරි,'රෝසි කිව්වේ දුකෙන් වගේ.  රෝසි නොකියා කියන්නේ මේකයි: හම්බන්තොට නෙවෙයි කොළඹ හැරුනම වෙන කොහේ වුනත් මිනිස්සු හැමදාම කැකිරි කෑවට කමක් නැහැ. එයාලට කිරි නැති වුනාටත් කමක් නෑ.  කොළඹට කිරි තියෙනවනම් ඇති.'

ඒත් ඇත්තටම කොළඹට පහුගිය ආණ්ඩුව දුන්නේ කැකිරි ද?  මට නම් පේන විදිහට කොළඹට හැමදාම කිරි ලැබුන.  කොළඹට ලැබෙන කිරි සප්ලයි එක ටිකක් එහා මෙහා වුනා නම් ඒ ප්‍රභාකරන් ට පින්සිද්ධ වෙන්නයි.  කොහොම වුනත් 2009 මැයි මාසෙන් පස්සේ නම් කොළඹට සුපිරි කාලයක් උදා වුනා.  කිරි ඕන තරම්...කැකිරි නැත්තට ම නැති තරම්! 2015 න් පස්සේ නම් ටිකක් අවුල් වුනා තමයි.  කිරි වගේම කැකිරිත් කොළඹට ලැබුනා.  ඒත් ඒවා රෝසිලාට පෙනුනේ නැහැ.     

එහෙනම් රෝසි මේ තටමන්නේ මොනවා කියන්නද?  මට හිතෙන්නේ මෙහෙම දෙයක් වෙන්න ඇති:

'කොළඹ කියන්නේ කොළඹම නෙවෙයි. කොළඹ කියල මම අදහස් කරන්නේ රටේ පාලන බලය.  ඒ බලය අහිමි වෙනකොට කොළඹක් නෑ වගේ. අපිත් නෑ වගේ.  එතකොට කොළඹ පෙන්නේ කැකිරි යායක් වගේ. කිරි බින්දුවක් වත් නැහැ වගේ.  අපට බැහැ හැමදාම කැකිරි-පක්ෂයක් වෙලා ඉන්න.  අපට ඕන ආයෙත් කිරි-පක්ෂයක් වෙන්න.  එතකොට කිරි ටික කොළඹ තියාගෙන කැකිරි වෙන පළාත්වලට බෙදන්න හෝ නොබෙදාම ඉන්න අපට තියෙන පූජනීය අයිතිය නැවතත් ලැබෙනවා.'   

එයාට තියෙන්නේ පැලැන්තියේ ප්‍රශ්නයක්.  පැලැන්තිය දේශපාලනය තුල කොන් වුන ප්‍රශ්නයක්.  මෙතැන තියෙන්නේ දුකක්. සාංකාවක්. ඒ හින්දමයි මේ වැලපිල්ල.  රෝසි ගේ දෙවෙනි ප්‍රකාශය මේ අදහස තහවුරු කරනවා.

රෝසි මෙහෙම කියල තියෙනවා: 'කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හෘදය වස්තුවයි.'මේක තමයි ආඩම්බරකාට කතාව.  මෙතන තමයි තියෙන්නේ රනිල් නොකියන, පක්ෂයක් හැටියට නොපිළිගන්න එනමුත් රනිල්ගෙත් පක්ෂයේත් ප්‍රතිපත්තිමය හරය. ඒක තමයි රෝසිගේ කියැවුණු ඇත්ත.

කොළඹ කියන්නේ එජාපයේ හෘදය වස්තුව නම් එජාපයේ බොක්ක බොක්කාවලද? එතකොට කිලිනොච්චිය කියන්නේ කිහිල්ල ද? මාපට ඇඟිල්ල මාපලගම ද? ආනමඩුව කියන්නේ ආමාශය ද? නිවිතිගල නියපොත්ත ද? නාඋල කියන්නේ නළල ද? බෙල්ලන්විල බෙල්ල ද? කොළඹ එජාපයේ හෘදයවස්තුව නම් අපේ ගම එජාපයේ මොකද්ද? විලුඹ ද, නාභිය ද, මවිල් ගසක් ද, ඉන්නෙක් ද?

ඔය වගේ ප්‍රශ්න ගණනාවක් අහන්න පුළුවන්.  ඒ හැම ප්‍රශ්නෙටම හිනා යන උත්තර ගොඩාක් තියෙන්නත් පුළුවන්.  ඒත් රෝසි කියනනේ හරිම සරල දෙයක්:

එක්සත් ජාතික පක්ෂෙට වැදගත් වෙන්නේ කොළඹ විතරයි.  'ගම'කියන්නේ සටන් පාඨයකට එකතු කරන්න සිද්ධ වෙන දෙයක්, කාලෙන් කාලෙට.  ගම අවශේෂයි. ගම අවුල්. ගම අදාලම නැහැ.  කිරි-කැකිරි ගැන භූගෝලය ගැන වත් රට තුල පවතින විෂමතා ගැන වත් ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක් තරම් වත් දැනුමක් නැති විදිහට රෝසි දොඩන්නේ මේ නිසා කියල අනුමාන කරන්න පුළුවන්. 

එහෙමයි එජාපය හිතන්නේ.  කොළොඹ තමයි එක.  ඒකෙ දෙකක් නැහැ එයාල ට. මෙතන කොළඹ කියන්නේ නගර සභාව ට අයිති භූමිය ම නෙවෙයි.  කොළඹ කියල එයාල දකින්නේ දේශපාලන බලයයි. වෙන මොකක්වත් නෙවෙයි.  තමන්ගේ පැලැන්තිය දිනවන, පැලැන්තියේ පැවැත්ම තහවුරු වන සමාජ දේශපාලන, ආර්ථික වටපිටාවට වෙන්න ඕන රෝසි 'කොළඹ'කියල කියන්නේ. 

ගම අදාල නැති පක්ෂයකට 'ගම හදන ආණ්ඩුව අපි ය'කියල කියන්න අයිතියක් නැහැ. කොළඹ නොවන සියලු පළාත් වල ට හදගැස්මක් තියෙනවා නම් ඒක රෝසි ට වත් රනිල් ට වත් ඇහෙන්න විදිහක් නැහැ.  එහෙම හෘදස්පන්දනයක් තියෙන්න නම් හදවතක් තියෙන්න ඕන. ඒත් හදවත තියෙන්නේ කොළඹ.  වෙන තැන් වල සෙසු අවශේෂ අවයව, එජාපයේ අවධානයට ලක් නොවන. නෝ හදවත් ඔන්ලි අනවශ්‍ය පාට්ස්.   

ඔන්න ඕක තමයි රනිල් නොකිව්වත්, පක්ෂය නොපිළිගත්තත් රෝසි හෙළිදරව් කරන එජාපයේ දේශපාලන දැක්මේ හරය සහ හෘදස්පන්දනය.

මේ බව කිසිම සැකයක් ඉතුරු නොවන විදිහට පහදලා දුන්නට රෝසි සේනානායක ට බොහොම පිං! 

Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles