ලසිත් මාලිංග වැඩ්ඩෙක්. කතා දෙකක් නෑ. කොන්ඩේ පාට කරන්න කලිනුත් වැඩ්ඩෙක්, පස්සෙත් වැඩ්ඩෙක්. දැන් නම් කොන්ඩේ පාට කළත් නොකළත් වැඩක් නැහැ. එහෙම වෙනවා, විශේෂයෙන් වේග පන්දු යවන්නන්ට වයසට යනකොට. කොහොම වුනත් මාලිංග ඉතිහාසගතවෙන්නේ වැඩ්ඩෙක් හැටියටයි.
මේවට නීති නෑ. වැඩ්ඩන්ට ෂෝ අකැප නෑ. ෂෝ දාන අයට වැඩ බැහැ කියන්නත් බෑ. වැඩ බැරි අයට ෂෝ දාන්න තහනම් නෑ. ඒ කෙසේ වෙතත් ෂෝ දැම්ම කියල වැඩ්ඩෙක් වෙන්නෙත් නෑ, ෂෝ කාරයෝ අනිවාර්යයෙන්ම වැඩ්ඩො වෙන්නෙත් නෑ.
පරාක්‍රමබාහු රජ්ජුරුවෝ වැඩ්ඩෙක්. කතා දෙකක් නෑ. නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ ෂෝ වැඩ්ඩෙක්. ඒ කියන්නේ එයාගේ තිබ්බේ වැඩ වලට වඩා ෂෝ එක. ප්‍රඩක්ට් එකක් නැති වුනත් ඇඩ් එක දැම්ම කෙනෙක්. වැඩ්ඩෙක් නෙවෙයි.
දේශපාලනයේත් එහෙමමයි. වැඩ්ඩො වගේම වැඩ බැරි අය ත් ෂෝ දානවා. ෂෝ කාරයින් ට වෙන කරන්න දෙයක් නැති නිසා ෂෝ දානවා වෙන්න පුළුවන්, ඒත් වැඩ්ඩො ෂෝ දාන එක ටිකක් අවුල්. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ෂෝ දැම්මද නැද්ද කියල හරියටම කියන්න බැරි වුනත් සංගක්කාර නම් ෂෝ දැම්මේ නැහැ. මහේලගේ ෂෝ නෑ. තෙන්ඩුල්කාර්, රිකී පොන්ටිං, මයිකල් ක්ලාක්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ශක් කලිස්, මයිකල් හෝල්ඩිං, ජෝන්ටි රෝඩ්ස් වගේ අයත් ඒවගේ. වැඩම තමයි. නෝ ෂෝ.
ඇයි මෙහෙම වෙන්නේ? ඉස්සරට වඩා දැන් කාලේ ෂෝ ඉල්ලන නිසා ද? වැඩ වල තියෙන ෂෝ එක ෂෝ වගේ දැනෙන්නේ නැති නිසා ද නැත්තම් මදි වගේ නිසාද? එහෙමනම් ඉම්රාන් කාන්, වාසිම් අක්රම්, සුනිල් ගවස්කාර්, මයිකල් ජෝර්ඩන් වගේ අය දේවත්වයට පත්වුනේ කොහොමද? අර්ජුන රණතුංග වීරයෙක් වුනේ කොහොමද? අරවින්ද ද සිල්වා සංගක්කාර වගේම ඇඩ් වලින් සල්ලි හම්බ කරගත්ත තමයි, ඒත් අරවින්ද ගැන වගේම් සංගා ගැනත් අපට වැඩියෙන්ම මතක එයාල ප්‍රමෝට් කරපු සන්නාමය වත් වෙළඳ භාණ්ඩය වත් නෙවෙයි, ක්‍රිකට් ක්‍රීඩාව තුල එයාලගේ දක්ෂකම්. මහේලත් එහෙමයි. රංගන ත් එහෙමයි. ඇඩ් වලට අමතරව තම තමන්ගේ 'කොන්ඩේ'පාට කරන්නවත් වනන්න වත් ගියේ නැහැ.
කොන්ඩේ කියන්නේ කොන්ඩේම නෙවෙයි කියල කියන්න ඕනෙම නැහැ කියල හිතනවා. අවශ්‍ය නම් 'කට-අවුට්'කියල කියන්නත් පුළුවන්. බෝක්කු වලට වගේම වැසිකිළි වලටත්, පාලම්ව ලටත්, ක්‍රීඩාගාර වලටත්, රඟහල් වලටත් 'පාට කරපු කොන්ඩේ'කියල කියන්න පුළුවන්.
ජවහර්ලාල් නේරු මෙහෙම දෙයක් කියල තියෙනවා: මම ජීවත්ව ඉන්න කාලේ පිළිම හදන්න එපා; මන්ද මම හෙට මොන වගේ දේවල් කරයි ද කියල කියන්න බැරි නිසා. ඒ කිව්වේ 'මගේ කොන්ඩේ පාට කරන්න එපා'කියල. සමහට අවස්ථා වලදී එහෙමත් වෙනවා. තමන් තමන්ගේ කොන්ඩේ පාට කරන්න අවශ්‍ය නැහැ. වෙන අය ඒක කරලා දෙනවා. 'එපා'කියල නොකියනවා නම් තමන් ම පාට කෙරුව වගේ තමයි. ෂෝ දාන්නත් පුළුවන් තමන් වෙනුවෙන් කරන බොරු ෂෝ අනුමත කරන්නත් පුළුවන්. ටිකක් වෙනස් තමයි, ඒත් දෙකම 'වැඩ වලට ම කැපවීම'ට වඩා ගොඩාක් වෙනස්.
රිකී පොන්ටිං ගෙන් දවසක් කවුදෝ අහල තියෙනවා එයාගේ සාර්ථකත්වයේ රහස මොකද්ද කියල. පොන්ටිං මෙහෙම කියල තියෙනවා: මට එවන හැම පන්දුවකට ම මම ගෞරව කරනවා!'දැකුම්කලු හතරේ පාරක් ගැහුවම සතුටු වෙන්න පුළුවන් එත් ඒ 'හතරේ පහරේ ඇඩ් එක'හිතේ ඉතුරු වුනොත් ඊළඟ පන්දුවට මුහුණ දෙන්න අවශ්‍ය ඒකාග්‍රතාවය හීන වෙනවා. බවුන්සර් පන්දුවකට හරියට මුහුණ දෙන්න බැරිවෙලා හෙල්මට් එකේ වැදුනොත් හිත කැළඹෙනවා තමයි. ඒ වුනාට හිතේ අමාරුව පහ කරගන්න බැරිවුනොත් ඊළඟ පන්දුව ට හොඳට මුහුණ දෙන්න අමාරු වෙනවා. වෙන විදිහකට කියනවා නම් 'අට ලෝ දහමින් කම්පා නොවෙන්න ට්‍රයි කරන්න ඕන.' කොණ්ඩා මෝස්‌තර වගේ ෂෝ වලින් කියවෙන්නේ ෆෝකස් අවුට් කියල යම් ප්‍රමාණයකට.
ෆෝකස් එක ටිකක් අවුට් වුනාට හොඳට සෙල්ලම් කරන්න බැරි වෙන්නේ නැහැ. එත් පොන්ටිං කෙනෙක් වෙන්න බැහැ. සංගක්කාර කෙනෙක් වෙන්න බැහැ. මුරලි වගේ පන්දු යවන්න බැහැ. වැඩ පුළුවන් වුනත් වැඩ්ඩෙක් ම වෙන්නේ නැහැ.
ෂෝ වලින් පලුදු මැකෙන්නේ නැහැ. ඇඩ් එක මොනතරම් ලස්සන වුනත් ඩේල් ස්ටෙයින්ගේ දරුණු පන්දු ඕවරයකට මුහුණ දෙන්න වෙන්නේ බැට් එකෙන්. කොන්ඩෙන් නෙවෙයි. කොන්ඩේ පාටින් නෙවෙයි. ෆෑන් ක්ලබ් එක විකට් එකට එන්නේ නැහැ. 'හදවතින් අපි විකට් එකේ'කියල පපුවට ගහගත්තත් බැට් කරන්න වෙන්නේ තනියම.
මෝස්‌තර වලට කාව වුනත් උස්සගෙන යන්න පුළුවන් ටික දුරයි. ෂෝ එක ඉවර වෙන වෙලාවක් තියෙනවා. ෂෝ එකෙන් කරන්න බැරි දේවල් තියෙනවා. අන්තිමට ඉතුරුවෙන්නේ වැඩ. වැඩම තමයි ෂෝ එක.