Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

ගෝටට හනිකට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය

$
0
0

ගෝටාට විතරක් ද එන්න කියන්නේ? එයා විතරද උත්තර දෙන්න ඕන? ඔය කියන්නේ සුදු වෑන්, ලසන්ත, තාජුදීන්, එක්නැළිගොඩ ගැනද? වෙන අහන්න දේවල් නැද්ද? හෝව් පුතා, හෝව් පුතා, පොඩ්ඩක් ඉන්න. තාම කතාව පටන් ගත්තේවත් නැහැනේ.

අපි කතා කරන්නේ මීලග ජනාධිපති ගැනද නැත්තම් වැඩ පිළිවෙල ගැනද? ඒ දෙකම ගැන ද? මේකයි කතාව. දැනට ප්‍රධාන පක්ෂ අතරින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙන්නේ පොදුජන පෙරමුණ විතරයි. ඒ නිසා ඉදිරිපත් කළ කෙනා ජනාධිපති වීම අනිවාර්ය නැහැ. ඒ වුනාට 2010 සහ 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල සලකන කොට, ඊට අදාළ ඡන්දදායකන්ගේ හැසිරීම් රටාව සලකන කොට, විශේෂයෙන්ම පහුගිය අවුරුදු 5 තුළ ආණ්ඩුව කරපු නොකරපු කියපු නොකියපු දේවල් සලකන කොට ගෝටා දිනන එක ගැන කතා කරන්න ඕන නෑ. යතාර්ථවාදී නම්. දැනට තියෙන තත්ත්වය එහෙමයි. වෙනස් වෙන්න පුළුවන් ඒත් වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි. 

හරිම සරලයි. 2015 දී රාජපක්ෂවරුන් පරාජය කළ යුතුයි කියල බහුතර ජනතාවක් තීන්දු කරද්දී දිනවන්න පුළුවන් අපේක්ෂකයා තෝරන එක විතරයි අවශ්‍ය වුනේ. ඉතින් මෛත්‍රිපාල සිරිසේන ව තෝර ගත්තා. එයා එක්ක හිටගත්තා අය හොරුද, තක්කඩියෝ ද, අදක්ෂයෝද, මිනීමරුවෝ ද, මහා පරිමාණ මනුස්ස ඝාතන වලට වග කිවයුතුද වගේ දේවල් ඒ තීරණයට අදාළ කර ගත්තේ නෑ.  වඩා විශාල අනතුර මෙයයි කියල හිතලා ඒ අනතුර මග හරවන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තරයක් හෙව්වා. උත්තරය මෛත්‍රී. මෛත්‍රී ජනාධිපති වුනා. සරලයි. 

මේ පාරත් එහෙමමයි. යහපාලකයින්ට 'යහ'තේරෙන්නෙත් නෑ පාලනයත් බෑ. හොරකමට, වංචාවට, දූෂණයට, ඥාති සංග්‍රහයට, නාස්තියට තිත තියනවා කිව්වට ඒ හැමදෙයක්ම යහපාලකයෝ කෙරුවා. තිත තිබ්බේ සංවර්ධනයට විතරයි කියල කියන්නත් පුළුවන්. ඒ මදිවට රට අස්ථාවර කෙරුවා, රටේ ස්වෛරීයභාවය විදේශ බලවේග වලට පාවලා දුන්නා, ත්‍රස්ත බිය ප්‍රතිනිර්මාණය කෙරුවා. රට කරවන ආණ්ඩුවක් නැති තත්වයට කටයුතු සම්පාදනය කෙරුවා. ව්‍යවස්ථා සංශෝධනය කියල විගඩමක් කෙරුවා. කොටින්ම මෛත්‍රී බලයට එන්න රාජපක්ෂවරුන්ගේ අකටයුතුකම් ප්‍රධාන වශයෙන් බලපෑවා නම්, නැවත රාජපක්ෂවරුන් බලයට ගේන්න යහපාලකවරුන් දිවා රෑ නොබලා මහන්සි වුනා කියලයි කියන්න වෙන්නේ.

එජාපයටත්, ශ්‍රීලංනිපයටත් වැඩ පිළිවෙලක් නැති වුනත්, ජවිපෙ ඉදිරිපත් කරන වැඩපිළිවෙලවල් වලට එයාලගේ භාවිතය පටහැනි නිසාත්, වෙනම ස්වාධීන කණ්ඩායම් ගැන උනන්දුවක් නැතිවා නෙවෙයි. සද්භාවයෙන්, අවංකව, ඍජුව කරයුතු කරන වෘත්තිකයින්ගෙන් වගේම ඩොලර් යූරෝ හොයන සිවිල් සමාජ පරපෝෂිතයින් වෙනුවට සැබෑ සිවිල් සමාජ ක්‍රියාධරයින් ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක් අගය කරන්න ඕන. ඒ සංවිධාන, ඒ ඒ ක්‍රියාකාරිත්වයන් පෝෂණය කරන්නත් ඕන. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් (ජවිපෙ ඇතුළුව) දශක ගණන් බැට කාපු ජනතාවට තිරසාර සහනයක් නිර්මාණය කරන්නේ ඒ වගේ අය කියල මට විශ්වාසයි.

කෙසේ වෙතත්, පවතින මැතිවරණ ක්‍රමය තුළ, පවතින දේශපාලන සංස්කෘතිය තුළ, මහා පෙරළියක් කරන්න ඒ කාටවත් බැරි බවත් පිළිගන්න ඕන.  ඒකයි ගෝටාට එන්න කියන්නේ. ඒකයි සියලු අපේක්ෂකයින්ට යොමු කරන්න ඕන ප්‍රශ්න ගෝටාගෙන් අහන්න වෙන්නේ.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යහපාලකයින්ගේ ඕනෑකමට නැත්තම් දීනකමට පිංසිද්ධ වෙන්න සම්මත කරගත්ත 30/1 ගිවිසුම ගැන ගෝටා මොනවාද කියන්නේ? යුද්ධය, දූෂණය, සමූල ඝාතන ඇතුළු ව්‍යසනයන් අනිවාර්ය අතුරුඵල හැටියට වළඳන්න සිද්දකරවන අධිපති සංවර්ධන මාදිලිය ගැන ගෝටා මොනවාද කියන්නේ? නවීනත්වයේ සුරංගනා කතා කියද්දී ඔය කියන න්‍යායන් අපට පොවන අතරේම ඒ ඒ රටවල ඒවා කඩිනමින් බැහැර කරන දේශීය ප්‍රතිපත්ති හදා ගෙන යන බව ගෝටා දන්නවද? අවසානේ එයාලගේ සියලු ආර්ථික සමාජීය පාරිසරික දේශපාලන න්‍යායන් 'සන්තුට්ටි පරමං ධනං'කියන එකට ලඝු කරලා තියෙන බව ගෝටා දන්නවාද?

වසවිස නැති ගොවිතැනක්, සංවර්ධනයක්, ගෝටාට අවශ්‍යද? ඒ සඳහා වැඩපිළිවෙලක්, කාලසටහනක් ගෝටාට තියෙනවද? පුනර්ජනනීය බලශක්තිය ගැන ගෝටාට අදහසක් තියෙනවද? වැඩපිළිවෙලක් කාල සටහනක් තියෙනවද? ආහාර සුරක්ෂිතභාවය, නිසි පෝෂණය ගැන මොනවාද ගෝටා කියන්නේ?

එතකොට ගෝටා 'එක රටක් එක නීතියක්'කියන අදහසට එකඟද? ආගම නැත්තම් ජාතිය පදනම් කරගත් නීති ගැන ගෝටා මොනවාද කියන්නේ? මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ගැන මොනවාද කියන්නේ?

ස්වෛරීයභාවය ගෝටා තේරුම් ගන්නේ කොහොමද? දේශ සීමා ආරක්ෂා කරලා, ත්‍රස්තවාදය නැති රටක් හැදුවහම ප්‍රමාණවත්ද? ඇමරිකාව නැත්තම් චීනය නැත්තම් ඉන්දියාව සමග රටේ ස්වෛරීයභාවයට හානිකර වෙළද හෝ යුධමය හෝ වෙනත් ගිවිසුම් වලට ගෝටා යන්න සූදානම් ද? පරණ පව් කෙසේ වෙතත් අලුතින් පව් නොකරන්න ගෝටා ප්‍රතිඥා දෙනවද? ඥාති සංග්‍රහය, ගජමිතුරු ගනුදෙනු, මත්ද්‍රව්‍ය ජාවාරම, දුම්කොළ ජාවාරම යනාදියට එරෙහි වෙනවද? විල්පත්තුවේ වගේම වෙනත් වනාන්තර වල ගස් කපන එක නවත්තනවද? නැද්ද? බැරිද? 

තවත් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අහන්න තියෙනවා. මෙතනින් පටන්ගමු. මාතෘකාව රළු වැඩිනම්, මෙහෙම කියන්නම්: 'ගෝඨාභයට එන්න කියන්න, මේවට උත්තර දීලම ඉන්න කියන්න.'


'අරුණ'පුවත්පතට ලියූ වෙනත් ලිපි 

ජනපති සිහින: විහිළුසහගත සහ සීරියස්


  

Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles